Saturday, March 23, 2013

රාජපක්ෂ පාලනය ශිෂ්‍ය මර්දනය අතින් ජේආර්ගේ පාලනයට ලඟාවෙමින් තිබෙනවා - SSU




මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය පැත්තෙන් බලන විට ජේ.ආර්. ජයවර්දන පාලනය අභිබවා ඉදිරියට ගොස් තිබෙන බවත් ශිෂ්‍ය මර්දනය අතින් ගත්තාම ජේ.ආර්. පාලනයට ළඟා වෙමින් සිටින බවත් එය පරාජය කිරීම දෙමව්පියන්, ගුරුවරුන්, රටේ වැඩකරන ජනතාව මෙන්ම පොදු මහජනතාව සමග සාකච්ඡා කරමින් සිටිනබවත් නොදුරේදීම, ‍නිදහස් අධ්‍යාපනය වනසන වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ආපසු හරවන බලවේගයක් නිර්මානය කරන බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (22) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යා‍ලයේ පැවති ජනමාධ්‍ය හමුවේදීය. එහිදී නලින්ද ජයතිස්ස මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

"විශ්වවිද්‍යාල පද්ධතිය පෞද්ගලීකරණය කිරීම ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයත් පිළිබඳව ජනතාවගේ අවධානය යොමුකළ යුතුයැයි අපි අදහස් කරනවා. ඔබ දන්නවා, මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය බවට පත්වී තිබෙන්නේ පෞද්ගලීකරණය. එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන දියත් කරමින් තිබෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතියත් පාසැල් පද්ධතියත් පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලයි. ක‍්‍රමානුකූලව රජය අධ්‍යාපනයෙන් ඉවත්වෙමින් තිබෙනවා.

මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා තිබෙනවා. 2008දී ආරම්භ කළ මාළඹේ පෞද්ගලික විද්‍යාලයට මේ වනවිට කණ්ඩායම් 8ක් බඳවාගෙන තිබෙන අතර ආණ්ඩුව එම උපාධියට නීත්‍යානුකූලභාවය ලබාදීමට උත්සාහ දරමින් තිබෙනවා. මේ අතර බත්තරමුල්ල, කොස්වත්තේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුවට දැන් අභියෝගයක් වී තිබෙන්නේ මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල නීත්‍යානුකූල කිරීම සඳහා පනතක් නොමැතිවීමයි. මීට ඉහතදී ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත්තත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, ශිෂ්‍යයින්ගේ මැදිහත්වීමෙන් එම පනත පරාජයට පත් කළා. 2013 මාර්තු නැවතත් එම පනත ගේනවා කිව්වා. පාසැල්වලට දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම පිළිබඳ අර්බුදයත් සමඟ එම පනත වෙනස් කොට පාසැල්වලට මුදල් එකතුකිරීම සඳහා සංශෝධනයක් ඇතුළත් කිරීමට ආණ්ඩුවට තිබූ වුවමනාව නිසා එය නියමිත වෙලාවට ගේන්න බැරි වුණා. ආණ්ඩුවට තිබෙන 2/3 පාර්ලිමේන්තු බලයත් සමඟ එම පනත සම්මත කරගැනීමට හැකි නමුත් මේ කුමණ ආකාරයේ පනතක් වුවත් පරාජය කිරීමේ හැකියාව අධ්‍යාපනයට ආදරය කරන මුළු මහත් ජනතාවට හැකියාව තිබෙනවා.

පාසැල් පද්ධතිය විශ්වවිද්‍යාල පද්ධතිය දුබල කිරීම සඳහා ආණ්ඩුව ප‍්‍රතිපාදන කප්පාදු කරමින් තිබෙනවා. පසුගිය වර්ෂ 65 තුල ඉදිරිපත්කළ අයවැය ලේඛණවලින් අධ්‍යාපනය සඳහා අඩුම ප‍්‍රතිපාදන වෙන් කළේ 2013 අයවැයෙන්. ජාතික පාසැල්, පළාත් පාසැල්, විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන යන සියලුම අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයන් සඳහා වෙන්කළේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.49%ක් පමණයි. පසුගිය වර්ෂයේ වෙන්කර තිබුණේ 1.86%යි. එම ප‍්‍රමාණයත් මදි කියලා තමයි ආචාර්යවරු දින 100ක් පුරා 6% අරගලය දියත් කළේ. ආණ්ඩුව බීරි අලින් වගේ ඉඳලා මෙවර වෙන් කළේ ගියවරටත් අඩු ප‍්‍රමාණයක්. එයිනුත් පාසැල් පද්ධතියට වෙන්කර ඇත්තේ 1.17%ක් පමණයි. පාසැල් නඩත්තුව සම්පූර්ණයෙන්ම දෙමව්පියන් මත පටවලා. එනිසා තමයි හොරණ දැරියකට පොල් ඇහිඳින්න සිදුවුණේ. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පියෙකුට තමා ජීවත්වූ ඔරුව විකුණන්න සිදුවුණේ. මේ අතර පාසැල්වලට විවිධ ව්‍යාපෘති ආණ්ඩුව යෝජනා කර තිබෙනවා. සමහර පාසැල්වල උසස් පෙළ සිසුන් තම අධ්‍යාපන කටයුතු පසෙක තබා බස්වල ස්ටිකර් විකුණමින් මුදල් එකතුකරනවා.

මේ අතර ආණ්ඩුව රාජ්‍ය විශ්ව විද්‍යාලවලට බඳවාගැනීම් කප්පාදු කරමින් ඉන්නවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ කී‍්‍රඩා උපාධිය සඳහා බඳවාගත යුතු 155න් 33ක් ද පරිගණක පීඨයට105න් 39ක්, කළමනාකරණ පීඨයට 395න් 300ක්, කෘෂි පීඨයට 155න් 40ක්, පේරාදෙණිය විශ්විවිද්‍යාලයේ කෘෂි පීඨයට 150න් 50ක් රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට 400න් 200ක් ආදී වශයෙන් සිසුන් බඳවා ගැනීම කප්පාදු කොට තිබෙනවා. මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. කොන්දේසි පදනම්කරගෙන අධ්‍යාපනයට ආණ්ඩුව දරන පිරිවැය අඩුකරමින් ඉන් ආණ්ඩුව ඉවත්වෙමින් තිබෙනවා. අධ්‍යාපනයේ සියලූ බර ජනතාව මත පටවමින් තිබෙනවා. මේ ආණඩුවට අයි.එම්.එෆ්. එකේ සරණ හැර වෙන සරණක් නොමැතිබව ඉන් පැහැදිළි වෙනවා.

ආණ්ඩුව රටේ අනෙකුත් සම්පත් විකුණනවාට වඩා අධ්‍යාපනය විකුණන විට මෙරට ජනතාවගෙන් දැඩි විරෝධයක් පැන නගිනවා. ඒ නිසා ආණ්ඩුව අධ්‍යාපන කප්පාදුවට සමාන්තරව ශිෂ්‍ය මර්දනයත් ආරම්භ කරලා තිබෙනවා. ගතවූ මාස 4 ඇතුළත ශිෂ්‍ය සංගම් සභාපතිවරුන්ට පහරදීමට පටන් ගත් ආණ්ඩුව ක‍්‍රමානුකූලව ශිෂ්‍ය සංගම් මර්දනයට, තහනම් කිරීමට අත තබා තිබෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයත්, පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කොට තිබෙනවා. ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තහනම් කිරීමට උපකුලපතිවරයා විසින් යෝජනා කොට තිබෙනවා. ඌව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සමිති ගොඩනැගීමට අවසරයක් නොදී ඉන්නවා. මොරටුව විශ්විද්‍යාලයේ සහ විවෘත විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන දොරටුවලට සී.සී.ටී.වී. කැමරා සවිකරලා යන එන අය පරීක්‍ෂා කරමින් සිටිනවා. විශ්්වවිද්‍යාලවල ඉන්න ආරක්‍ෂක අංශවලට අමතරව රක්නා ලංකා සමාගමින් නිළධාරීන් යොදවලා ශිෂ්‍ය කි‍්‍රයාකාරීන්ගේ තොරතුරු ලබාගනිමින් ඉන්නවා. මේ අතර ආණ්ඩුව ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් පිටුපස බුද්ධි අංශ යොදවමින් තිබෙනවා. කි‍්‍රයාකාරී ශිෂ්‍යයින්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරමින් සිටිනවා. මේ වන විට විශ්වවිද්‍යාල පුරා සිසුන් 62කගේ ශිෂ්‍යභාවය අහෝසිකොට තිබෙනවා. මේ සඳහා ආණ්ඩුව යොදාගන්නේ නවක වදය, කී‍්‍රඩා පිට්ටනි පාවිච්චිය ආදී බොරු චෝදනායි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 11දෙනෙකුගෙ ශිෂ්‍යභාවය අහෝසි කලේ ඔවුන්ගෙ අවසන් වසර විභාගයට දින කිහිපයක් තිබියදී. නවක සිසුන් බඳවා ගැනීමටත් පෙර නවක වදය දුන්නා යැයි පවසමින් තවත් සිසුන් 4 දෙනෙකුගෙ පන්ති තහනම් කලා. සබරගමුවෙ ශිෂ්‍ය නායකයින් 5 දෙනෙකුගේ පන්ති තහනම් කලා. විවෘත විශ්වවිද්‍යාලයේ කී‍්‍රඩාපිටිය කී‍්‍රඩාවන් සඳහා පාවිච්චි කළා යැයි සිසුන් 5කගේ ශිෂ්‍යභාව අහෝසි කරලා. අපි අහන්න කැමතියි, මේ රටේ කී‍්‍රඩා කිරීමේ අයිතිය තිබෙන්නේ රාජපක්‍ෂවරුන්ගේ පුතුන්ට පමණක්ද කියලා.

පෞද්ගලීකරණයට එරෙහිව හඬ නගන විට එයට එරෙහිව මර්දනය දියත් කිරීමට ආණ්ඩුව තවත් මෙහෙයුම් උපයෝගී කරගන්නවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ක‍්‍රමාණුකූලව අරගලවලින් ඈත් කිරීම සඳහා හමුදා පුහුණුව ලබාදෙමින් ඔවුන් මෙල්ල කරමින් ඉන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ නොවන ලෙසට උපදෙස් ලබාදෙමින් ඉන්නවා. ඒ වගේම පාසැල්වල වදුහල්පතිවරුන්ට කර්නල් පදවි ප‍්‍රදානය කිරීම හරහා හමුදා පුහුණුව ලබාදෙමින් අධ්‍යාපනයට හමුදා මැදිහත් වීම සාමාන්‍යකරණය කරමින් ඉන්නවා. පාසැල්වල විදුහල්පතිවරුන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ චක‍්‍රලේඛ මගින් පාලනය කරන පිරිසක් බවට පත්කිරීමට උත්සාහ දරමින් ඉන්නවා. පාසැල්වල ආර්ථික කටයුතු ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට පවරමින් ඉන්න ආණ්ඩුව රාජපක්‍ෂවරුන් දෙදෙනෙකු අතරට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන සිරකොට තිබෙන අතර ඔහු සැන්විච් එකක් බවට පත්වෙලා. ඉතින් අධ්‍යාපන ඇමතිවරයා මොකද කරන්නේ?

ආණ්ඩුවට අධ්‍යාපනය විකිණීම හැර අන් මගක් ඉතිරි වී නැහැ. ඒ නිසා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය අර්ධ රාජ්‍ය තත්වයට පත්කිරීමට ආණ්ඩුවේ ප‍්‍රතිපාදන කප්පාදු කරමින් ඉන්නවා. ඉතිහාසයේ පලමු වතාවට අයවැය ලේඛණයට අධ්‍යාපනය සඳහා දෙමව්පියන් දරන වියදමද ඇතුළත් කොට තිබෙනවා. ඒ හරහා දෙමව්පියන් අධ්‍යාපනය වෙනුවෙන් දරණ වියදම නීත්‍යානුකූලභාවයට පත්කිරීමට ආණ්ඩුව උත්සහ දරා තිබෙනවා. මේ අතර ආණ්ඩුව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ ගාස්තු අධික ලෙස ඉහළ දමා තිබෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ රු.950ක්ව තිබූ ලියාපදිංචි ගාස්තුව රු.2700 දක්වාද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රු.250ක්ව තිබූ ගාස්තුව රු.500ක් දක්වා වැඩිකොට තිබෙනවා. මේ අතර එම ගාස්තු වයඹ විශ්ව විද්‍යාලයට රු.1220 දක්වාත්, ඌව විශ්වවිද්‍යාලයට රු.5050 දක්වාද ශී‍්‍ර පාලි කලා පීඨයට රු.2600 දක්වාද ලියාපදිංචි ගාස්තු වැඩිකොට තිබෙනවා.

මේ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය පැත්තෙන් බලන විට ජේ.ආර්. ජයවර්දන පාලනය අභිබවා ඉදිරියට ගොස් තිබෙනවා. ශිෂ්‍ය මර්දනය අතින් ගත්තාම ජේ.ආර්. පාලනයට ළඟා වෙමින් සිටිනවා. ඒ නිසා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ඉදිරියට එන්න කියලා. ඒ සඳහා අපි පසුගිය දෙසතිය පුරා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණ තිබෙනවා. මේ අතර වැඩබිම්වලට ගොස් අධ්‍යාපනය පෞද්ගලීකරණය සහ ශිෂ්‍ය මර්දනය සම්බන්ධයෙන් වැඩකරන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරුන්, දෙමාපියන් ඒකාබද්ධ කරගනිමින් නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමේ ඒකාබද්ධ අරගලයකට සූදානම් වෙමින් ඉන්නවා."

මෙම අවස්ථාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජික රංගන දේවප‍්‍රිය, ප‍්‍රසාද් තුසිත කුමාර සහ බුද්ධිකා හේෂානි යන අය සහභාගි විය.
Read more »

රුහුණට ළමුන් ගැනීම සඳුදා







2011 - 2012 විශ්වවිද්‍යාල ප්‍රවේශය මත රුහුණු විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා, භෞතික විද්‍යා සහ පරිගණක විද්‍යා පාඨශාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ලබන සඳුදා ඇරඹෙන අතර ඔවුන් සඳහා අධ්‍යයන කටයුතු ලබන 27 වැනි දින සිට ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලය පවසයි.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ දෙවන, තෙවන හා සිව්වන වසර සිසුන් සඳහා දේශන ලබන සදුදා ආරම්භ කෙරෙන අතර පළමු වසර සිසුන් සඳහා දේශන අප්‍රේල් 01 වැනිදා ආරම්භ වන බවද පැවසේ.
Read more »

රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන කප්පාදුවේ තවත් පැතිකඩක්





ආණ්ඩුව විසින් මේ වනවිට විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීම ආරම්භකර ඇති බවත් පාසල් පද්ධතියේ නඩත්තුව මුළුමනින්ම දෙමවුපියන් මත පටවා ඇති බවත් ශිෂ්‍ය සංගම්, ගුරු සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරු යන අධ්‍යාපනයට සම්බන්ධ සියලුම දෙනා චෝදනාකරමින් සිටී.

පහත දැක්වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සිසුන් බඳවාගැනීම කප්පාදුකර ඇති ආකාරය පිළිබඳ සංඛ්‍යා ලේඛන කිහිපයකි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලය,

කෘෂිවිද්‍යා පීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 350යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 217යි.

විද්‍යාපීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 620යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 432යි.

පශු වෛද්‍ය පීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 148යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 77යි.

කළමණාකරන උපාධිය (BBA) ශාස්ත්‍රපීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 150යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 101යි.

රජරට විශ්වවිද්‍යාලය,

කෘෂිවිද්‍යා පීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 155යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 58යි

ව්‍යවහාරික විද්‍යාපීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 405යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 95යි.

කළමණාකරන අධ්‍යයන පීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 395යි, බඳවාගෙන ඇති ප්‍රමාණය 309යි.

සමාජීය විද්‍යා මානව ශාස්ත්‍රපීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 600යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 504යි.

සබරගමුව විශ්වවිද්‍යාලය,

කෘෂිවිද්‍යා පීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 109යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 58යි.

ව්‍යවහාරික විද්‍යාපීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 388යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 102යි.

කළමණාකරන අධ්‍යයන පීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 310යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 278යි.

සමාජීය විද්‍යා භාෂා - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 310යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 224යි.

භූ විඥාපණ පීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 102යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 54යි.

රුහුණ විශ්වවිද්‍යාලය,

විද්‍යාපීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 402යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 50% අඩුවී ඇත.

ධීවර සාගර හා තාක්ෂණවිද්‍යා පීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 93යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 32යි.

වයඹ විශ්වවිද්‍යාලය,

ව්‍යවහාරික විද්‍යාපීඨය - බඳවාගැනීමට නියමිත ප්‍රමාණය 200යි. බඳවාගෙන ඇති ප්‍රමාණය 60යි.
Read more »